අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකු සොයා ගනිමු...


ගම්පෙරළියේ නන්දා, ජිනදාස සොයන්නට ඔහු වෙසෙන ගම් පළාතට පුද්ගලයකු පිටත් කළ බව අපි දනිමු. එහෙත් නූතන තාක්ෂණය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම එතරම් අපහසු නැත. අප මේ අවධානය යොමු කරනුයේ අන්තර්ජාලය මගින් යම් පුද්ගලයකු සොයා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රමවේද සම්බන්ධයෙනි.
Facebook යනු ලොව වඩාත් ප්‍රචලිත සමාජ ජාලයක් බව අපි දනිමු. එක් මාසයක් තුළ එහි ක්‍රියාකාරී සාමාජිකයන් සංඛ්‍යාව බිලියන 1.23කට ආසන්න ය. ඔබ සොයන පුද්ගලයා සතු ව Facebook ගිණුමක් තිබේ නම්, එම ජාලය ඔස්සේ ඔහු සොයා ගැනීම ඉතා පහසු කටයුත්තක් වනු ඇත. ඔහු ගේ නම වෙනත් බොහෝ දෙනකු භාවිත කිරීම, ඔබ සොයන පුද්ගලයා අන්තර්ජාලයට සම්බන්ධ නොවන තැනැත්තකු වීම වැනි බාධක මෙහි දී පැන නැගිය හැකි නමුත්, මෙය බෙහෙවින් සාර්ථක ක්‍රමවේදයක් ලෙස හඳුනා ගත හැකි ය. ඔබ මෙම ජාලයෙහි ගිණුමක් ආරම්භ කළ පසු, search box එකෙහි අදාළ පුද්ගලයා ගේ නම ඇතුළත් කිරීමෙන් ඉතා පහසුවෙන් ඔහු සොයා ගත හැකි ය. එවිට අදාළ නම සඳහා වඩාත් ගැළපෙන පුද්ගලයන් ලැයිස්තුවක් අඩවිය විසින් සොයා දෙනු ලැබේ.


Facebook අඩවිය ඔබට ලබා දෙන තවත් පහසුකමක් වන්නේ, ඔබ ගේ පෞද්ගලික තොරතුරු යොදා ගනිමින් people you may know යටතේ ඔබ හඳුනන පුද්ගලයන් සොයා ගැනීමට අවස්ථාව ලබා දීම යි. Find Friends යටතේ ගොස්, ඔබ ගේ පාසල, රැකියා ස්ථානය ආදිය ඉවහල් කර ගනිමින් ගැළපෙන මිතුරන් හඳුනා ගත හැකි ය. නමට අමතර ව මෙබඳු තොරතුරු ද ඇතුළු කිරීමෙන් වඩාත් නිවැරදි සෙවීමක් සිදු කළ හැකි වේ. මිතුරා ගේ privacy settings මගින් අවසර සලසා තිබේ නම්, ඔහු ගේ මිතුරන් ලැයිස්තුව පිරික්සීම සඳහා ද ඔබට අවස්ථාව ඇත.
ඔබ සොයන පුද්ගලයා සොයා ගත් පසු, Add Friend ඔස්සේ ඔහුට මිතුරු වීමට ආරාධනාවක් යැවිය යුතු අතර, ඔහු එය පිළිගත් පසු ඔබ දෙදෙනා මිතුරන් බවට පත් වෙති. එසේත් නැති නම් තමා කවරේ ද යන්න සඳහන් කොට, Send message ඔස්සේ අදාළ පුද්ගලයාට තමා හඳුන්වා පණිවුඩයක් යැවිය හැකි ය. අතීතයේ දී මෙම ජාලය තුළ පුද්ගලයන් සෙවීමේ දී තම ප්‍රොෆයිලය දර්ශනය නොවන ආකාරයට සැකසුම් සිදු කර තැබීමේ හැකියාව තිබූ නමුත් වර්තමානය වන විට මෙම හැකියාව අහෝසි කර ඇත. එය, අන්තර්ජාලය තුළ ඔබේ පෞද්ගලිකත්වයට යම් හානියක් වුවත්, පුද්ගලයකු සොයා ගැනීමේ දී මෙය විශාල පහසුවක් වනු ඇත.


Google සහ Google+ යනු ද, යමකු සොයා ගැනීම සඳහා ඉවහල් කර ගත හැකි ක්‍රමවේද වේ. ඔබ සොයනා යම් තැනැත්තකු ගේ සම්පූර්ණ නම, Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ සෙවීමෙන් ප්‍රතිඵල රාශියක් දිස් වනු ඇත. ඔහු ගේ රැකියාව, පාසල, ලිපිනය වැනි තොරතුරු ඔබ සතු ව තිබේ නම්, ඒවා ඇතුළත් කළ විට වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගත හැකි වේ.
search box එකට පහළින් ඇති search tools මගින් රට හෝ ප්‍රදේශය ඔස්සේ සෙවීම සිදු කළ හැකි අතර, Advanced search මගින් යම් යම් වචන එක් කිරීම හෝ ඉවත් කිරීම ආදී ක්‍රමවේද ඔස්සේ වඩාත් නිවැරදි ප්‍රතිඵලයක් ලබා ගන්නට උත්සාහ කළ හැකි වේ.

Google+ යනු Facebook තරම් ජනප්‍රිය සමාජ ජාලයක් නොවන නමුත්, Facebook භාවිත නොකරන්නන් Google+ භාවිත කරන අවස්ථා තිබිය හැකි ය. ඔබ ගේ ගිණුමට ඇතුළු වී suggestions යටතේ පිරික්සීමෙන්, ඔබේ තොරතුරු අනුව, හඳුනන පුද්ගලයන් ජාලය විසින් ම තෝරා දෙන ලද බව දැක ගත හැකි ය. එසේත් නැති නම් Discover ඔස්සේ ගොස් අදාළ පුද්ගලයා ගේ සම්පූර්ණ නම ලබා දිය හැකි ය. ඔබ ගේ YouTube subscriptions සමග ද Google+ සම්බන්ධ වන බැවින්, ඔබ ප්‍රිය කරන වීඩියෝ පට නිෂ්පාදනය කරන පුද්ගලයන් හා සමාගම් සොයා ගැනීමේ අවස්ථාව ද ඔබට සැලසේ.
ඔබ Follow කරන ඕනෑ ම පුද්ගලයකු වෙත පණිවුඩයක් යැවීමේ හැකියාව ද මෙම ජාලය විසින් සලසා දෙනු ලැබේ. මෙම පණිවුඩය ඔහු ගේ Gmail inbox එක වෙත ලැබෙනු ඇත. ඒ ඔස්සේ අදාළ පුද්ගලයා හා සම්බන්ධ වීමට ඔබට පිළිවන.
LinkedIn යනු ද වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින සමාජ ජාලයකි. මෙහි දී ද අදාළ පුද්ගලයා ගේ පාසල, රැකියා ස්ථානය, ජීවත් වන ප්‍රදේශය ආදිය යොදා ගනිමින් ඔහු සොයා ගත හැකි වේ. එසේ ම ඔබ ගේ e-mail ගිණුම මේ සමග සම්බන්ධ කිරීමෙන්, එහි ඇති contacts මෙම ජාලය සමග සම්බන්ධ වූ විට ඒ බව දැන ගත හැකි ය.

සාමාන්‍යයෙන් මෙම ජාලය භාවිත වන්නේ වෘත්තිකයන් හා සම්බන්ධ වීම සඳහා වන අතර, ඔබ කිසි දිනෙක ඇසින් නොදුටු ව්‍යාපාරිකයකු වැන්නකු හඳුනා ගැනීමට මෙය කදිම මාර්ගයකි. මෙම අඩවියෙහි ඔබට ඇත්තේ මුදල් ගෙවා ලබා ගන්නා ලද ගිණුමක් නම්, ඔබට තවත් පහසුකමක් හිමි වේ. එනම්, අදාළ පුද්ගලයා සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති ව ඔහුට පණිවුඩයක් යැවීමේ හැකියාව යි. දින හතක් ඇතුළත ප්‍රතිචාරයක් නොලද හොත්, නැවත පණිවුඩයක් යැවීමේ හැකියාව ඔබට ලැබේ.
වෙනත් සමාජ ජාල මෙන් නොව, පසුගිය දින 90 තුළ ඔබේ ප්‍රොෆයිලය නිරීක්ෂණය කළ පුද්ගලයන් ගේ ලැයිස්තුවක් ද මෙමගින් ඔබට ලබා දීම සිදු වේ. ඔබේ ප්‍රොෆයිලයේ Who's Viewed Your Profile යන්න ඔස්සේ ගොස් එසේ නිරීක්ෂණය කරන ලද පුද්ගලයන් ගේ ලැයිස්තුවක් ලබා ගත හැකි අතර, ඔවුන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මුදල් ගෙවා ලබා ගන්නා ලද ගිණුමක් අවශ්‍ය වේ.
Twitter ජාලය ඔස්සේ ද ඔබට පුද්ගලයන් සොයා ගත හැකි ය. මේ සඳහා ඇති පහසු ම ක්‍රමය නම් search box එකෙහි අදාළ පුද්ගලයා ගේ නම යොදා, People tab එක යටතේ දර්ශනය වන ප්‍රතිඵල නිරීක්ෂණය කිරීම යි. Discover link එක ඔස්සේ ගොස් find friends වෙත එළඹ, search contacts යටතේ ඔබේ e-mail ලිපිනය ඇතුළත් කිරීමෙන්, එයට සම්බන්ධ මිතුරන් හට Twitter ජාලයේ ගිණුමක් තිබේ නම් සොයා ගත හැකි ය.


Facebook ජාලයේ මෙන් මෙහි දී ද, අදාළ පුද්ගලයන් සම්බන්ධ වී ඇති වෙනත් අය මගින් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. Followers සහ Following Lists ඔස්සේ පුද්ගලයන් සොයා ගත හැකි නමුත්, ඔවුනට පණිවුඩ යැවීමේ හැකියාව ඇත්තේ ඔවුන් ඔබ Follow කරන්නේ නම් පමණි. එහෙත් එම තැනැත්තා ඔබ block කර නොමැති නම්, tweet කිරීම සිදු කළ හැකි ය.
Friends Re-united අඩවිය භාවිත කරන්නන් ද ඔබේ මිතුරන් අතර විය හැකි ය. පිටුවෙහි ඉහළ ඇති box එක භාවිතයෙන් මිතුරන් ගේ නම ඔස්සේ සෙවීම සිදු කළ හැකි අතර, පාසල, රැකියා ස්ථානය ආදිය භාවිතයෙන් සෙවීම සිදු කළ හැක්කේ Find භාවිතයෙනි. අදාළ වර්ෂ භාවිතයෙන් පුද්ගලයන් තෝරා ගැනීම ද ඔබට සිදු කළ හැකි ය. මෙහි දී ඔබ ගේ contacts වෙත යමකු එක් කොට ඔහුට පණිවුඩයක් යැවීම ඉතා පහසු කටයුත්තකි. Auto Match Search භාවිතයෙන් ඔබ ගේ පාසල, රැකියාව ආදියට සම්බන්ධ පුද්ගලයන් සොයා දීම අඩවිය විසින් ස්වයංක්‍රීය ව සිදු කරනු ලැබේ. එපමණක් නොව, විවිධ Forums සමග සම්බන්ධ වී ඇති පුද්ගලයන් සොයා ගැනීම ද මේ ඔස්සේ සිදු කළ හැකි කටයුත්තකි.
පුද්ගලයන් සෙවීම සඳහා ම වෙන් වූ search engines ඇති බව ඔබ දන්නවා ද ? Google සෙවීමට වඩා නිවැරදි ප්‍රතිඵල මෙමගින් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. Pipl(pipl.com) යනු ඔබේ සෙවීම ආරම්භ කිරීමට උචිත ස්ථානයකි. පුද්ගලයකු ගේ නම, email ලිපිනය, ලිපිනය වැනි තොරතුරු ලබා දීම මගින් මෙම කාර්යය සිදු කළ හැකි ය. සමාජ ජාලවල ඇති ප්‍රොෆයිල, ප්‍රවෘත්ති, වාර්තා, බ්ලොග් අඩවි, ප්‍රකාශන වැනි සියල්ල පිළිබඳ ව මෙහි දී අවධානය යොමු කෙරේ. මේ සමග ඔබ සොයන නමට අදාළ ඡායාරූප ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.



Wink (wink.com) යනු ද මෙබඳු තවත් අඩවියකි. පුද්ගලයකු ගේ මුල් නම, වාසගම හෝ user name එක මගින් මෙහි දී සෙවීම සිදු කළ හැකි ය. අදාළ ප්‍රදේශය සටහන් කිරීමෙන් එයට අයත් ප්‍රතිඵල පමණක් ලබා ගත හැකි වේ. email ලිපිනය ඔස්සේ පුද්ගලයකු සොයා ගැනීම ද මෙයින් සිදු කළ හැකි අතර, දුරකථන අංකය මගින් යමකු සොයා ගත හැක්කේ එංගලන්තය හා කැනඩාව යන රටවල පමණි.
123people ඔස්සේ ද ඔබට යමකු සොයා ගත හැකි අතර, නම ඇතුළත් කිරීම මගින් ඔහු සම්බන්ධ ව සිටින සමාජ ජාල, ඡායාරූප,ලිපිගොනු වැනි සියලු තොරතුරු ලබා ගත හැකි ය.


ම් පුද්ගලයකු සොයා ගැනීමට Online Directories භාවිත කිරීමේ හැකියාව ද ඔබට පවතී. The Phone Book යනු එංගලන්තය තුළ වෙසෙන පුද්ගලයන්, දුරකථන අංක ඔස්සේ සොයා ගැනීමට භාවිත කළ හැකි ක්‍රමයකි. 192.com යනු ද ගෙවීමක් කොට මෙම පහසුකම ලබා ගත යුතු අඩවියකි. අප රටෙහි පුද්ගලයන් වෙනුවෙන් භාවිතයට ගත හැකි මේ ආකාරයේ වෙබ් අඩවි සොයා ගැනීම අපහසු වන නමුත්, මෑතක දී අන්තර්ජාලයට එක් කරන ලද ටෙලිකොම් දුරකථන නාමාවලිය කදිම නිදර්ශනයකි.


නොමිලේ ලබා දෙන පහසුකම් යටතේ යම් පුද්ගලයකු සොයා ගැනීමට අසමත් වී නම්, මී ළඟට ගත හැකි ක්‍රියාමාර්ගය වන්නේ පුද්ගලයන් සොයා ගැනීමේ සේවාවක් වෙනුවෙන් ගෙවීමක් සිදු කිරීම යි. Peopletracer යනු, මිලියන 275කට වැඩි වාර්තා සංඛ්‍යාවක් ඔස්සේ ඔබට තොරතුරු ලබා දෙන වෙබ් අඩවියකි. Google maps, උපන්දින, දුරකථන අංක වැනි සියලු තොරතුරු ඔස්සේ මෙම සෙවීම් සිදු වේ. FinderMonkey, Salvation Army වැනි සේවා ද මෙයට සමාන වන නමුත්, මේ සියල්ල එංගලන්තයේ පුද්ගලයන් සඳහා සීමා වන බව මතක තබා ගත යුතු ය.


ඔබට යම් වෙබ් අඩවියක හිමිකරු සොයා ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා ඉවහල් කර ගත හැක්කේ who.is හෝ whois.net යන වෙබ් අඩවි ය. අදාළ අඩවියෙහි domain name එක යටතේ මෙම සෙවීම සිදු කළ හැකි ය. අදාළ පුද්ගලයා තොරතුරු සුරක්ෂිත කොට නොමැති නම්, ඔහු ගේ නම, ලිපිනය, email ලිපිනය වැනි තොරතුරු ඔබට ලබා ගත හැකි ය. Companies House Web Check මගින්, එංගලන්තය තුළ පවතින ව්‍යාපාර පිළිබඳ තොරතුරු ද මේ අයුරින් ම ලබා ගත හැකි වේ. ක්‍රියාකාරී තත්ත්වයේ පවතින, වසා දමන ලද, මෑතක දී වසා දමන ලද ආදී වශයෙන් විවිධ අවස්ථා යටතේ පවතින ව්‍යාපාර පිළිබඳ ව මෙහි දී ඔබට සොයා බැලිය හැකි වේ




ඔබ සොයන පුද්ගලයා ඇමරිකාව, එංගලන්තය වැනි රටක වාසය කරන්නෙක් නම්, amazon wish lists භාවිතයෙන් ද ඔහු පිළිබඳ ව සොයා ගැනීමට උත්සාහ කළ හැකි ය. බොහෝ දෙනා මෙම වෙබ් අඩවියෙන් භාණ්ඩ මිල දී ගැනීමට හුරු වී සිටීම මෙයට හේතුව යි.
එක් එක් රටවල වෙසෙන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ඒ ඒ රටවලට ආවේණික ක්‍රියාමාර්ග ඔස්සේ සොයා බැලීම ද කළ හැකි වේ. නිදසුන් වශයෙන් ගත් කල, ඇමරිකාවේ සිටින පුද්ගලයකු සොයා ගැනීමට Zabasearch, Anywho වැනි වෙබ් අඩවි භාවිත කළ හැකි අතර, ලොව පුරා එක් එක් රටවල වෙසෙන්නන් සොයා ගැනීමට Infobel අඩවිය යොදාගෙන උත්සාහ කළ හැකි වේ.


සමස්තයක් වශයෙන් ගත් කල පැන නගින ගැටලුව වන්නේ මෙබඳු බොහෝ ක්‍රමවේද එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට සීමා වීම යි. එබැවින් අප රටෙහි වෙසෙන්නකු සොයා ගැනීම සඳහා Google සෙවුම් යන්ත්‍රය භාවිතය, සමාජ ජාල පිරික්සීම වැනි ක්‍රමවේද කිහිපයකට සීමා වන්නට සිදු වේ.












0 comments:

Post a Comment

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes